රෙජි රණතුංග අනුස්මරණ කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාවය ගම්පහ “සියනෑ තරු”ක්‍රීඩා සමාජයට

0
Spread the love

රෙජි රණතුංග අනුස්මරණ කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය සමත් විය. එහි අනුශූරතාව හිමි වූයේ මීරිගම අපි ක්‍රිඩා සමාජයටයි.

ගම්පහ මහ නගර සභාවට අයත් මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීමට සමගාමීව පැවැත්වූ රෙජී රණතුංග අනුස්මරණ කුසලාන වෝලිබෝල් තරගාවලිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින පැවැත්වුණි.

සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා සමාජය ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අතර වොලිබෝල් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.

මෙම තරගාවලියේ වසය අවුරුදු 20 පහළ බාලක ශූරතාවය වෙනුවෙන් අවසන් මහා තරගය පැවැත්වුයේ මීගමුව ලොයොලා පාසල හා සීදුව දවිසමර මහා විද්‍යාලය අතරයි. එහි ශුරතාවය දිනා ගැනීමට සීදුව දවිසරම කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාවය හිමිවූයේ මීගමුව ලොයොලා පාසලටයි.

20 පහළ බාලිකා අවසන් මහා තරගය කිරිදිවෙල සංඝමිත්තා විද්‍යාලය හා මීරිගම කඳන්ගමුව ජාතික පාසල අතර පැවැත්විය. එහි ශූරතාවය හිමිවුයේ කිරිදිවෙල සංඝමිත්තා පාසලේ ක්‍රිඩිකාවන්ටය. මීරිගම කඳන්ගමුව ජාතික පාසල බාලිකා අංශයේ අනුශාතුරතාවය දිනාගත්තාය.

තෙදිනක් පුරා පැවැති මෙම තරගාවලිය විවෘත පිරිමි, අවුරුදු 20 පහළ බාලක බාලිකා වශයෙන් පැවැත්වුණ අතර විවෘත පිරිමි කණ්ඩායම් 06ක්, 20 පහළ බාලිකා කණ්ඩායම් 08 සහ 20 පහළ බාලිකා කණ්ඩායම් 10 ක් සහභාගී විය.

මෙම තරගාවලියේ බාලිකා අංශයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස කිරිදිවෙල සංඝමිත්තා විද්‍යාලයේ එස්.ටී.ඒ.වීරසිංහ, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස මීරිගම කඳන්ගමුව ජාතික පාසලේ ඩබ්ලිව්.පී.සුභානි මෙත්සදී, දක්ෂතම ක්‍රිඩිකාව ලෙස  කිරිදිවෙල සංඝමිත්තා විද්‍යාලයේ පී.ජී.එම්. කාව්‍යා යන ක්‍රීඩිකාවන් තිදෙනා සම්මාන දිනා ගත්හ.

වසය අවුරුදු 20 බාලක තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස මීගමුව ලොයොලා පාසලේ දිමුත් නිශාන්, දක්ෂතම ප්‍රහාරකයා ලෙස සීදුව දවිසමර විද්‍යාලයේ මනුජ නිසල්, දක්ෂතම ක්‍රිඩකයා සීදුව දවිසමර විද්‍යාලයේ එච්.දිනේෂ් හර්ෂ සඳරුවන් සම්මාන දිනා ගත්හ.

විවෘත තරගාවලියේ දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙස සම්මාන දිනා ගත්තේ ගම්පහ සියනෑ තරු ක්‍රිඩා සමාජයේ ජිනේන්ද්‍ර සිල්වායි. හොඳම පන්දු ලබා ගන්නා ලෙස මීරිගම අපි ක්‍රිඩා සමාජයේ නලීන් ශ්‍රියන්ත, දක්ෂතම පන්දු සකසන්නා ගම්පහ සියනෑ තරු ක්‍රිඩා සමාජයේ මොරිස් චමින්ද පෙරේරා, හොඳම ප්‍රහාරකයා ගම්පහ සියනෑ තරු ක්‍රිඩා සමාජයේ ඉසුරු මධුෂාන්, දක්ෂතම දැල ආවරණය කරන්නා ලෙස ගම්පහ සියනෑ තරු ක්‍රිඩා සමාජයේ අයේෂ් පෙරේරා, දක්ෂතම පිටිය ආවරණය කරන්නා ලෙස ගම්පහ සියනෑ තරු ක්‍රිඩා සමාජයේ අලෝක විමුක්ති යන ක්‍රිඩාකයෝ සම්මාන හිමිකර ගත්හ.

සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මාන හිමි කර ගත්තේ ගම්පහ සියනෑ තරු ක්‍රිඩා සමාජයේ දීප්ති රොමේෂ් ක්‍රීඩාකයායි.

ගම්පහ මහ නගර සභාවට අයත් මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය නවීන අංගෝපාංගයන්ගෙන් සහ අනෙකුත් පහසුකම්වලින් ප්‍රතිසංවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රීත භූමි ප්‍රදේශය නාගරික සංවර්ධන උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස 2021 වසරේදී ආරම්භ කර ඇත.

2021 වසරේදී සියනෑ තරු ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණය ප්‍රතිසංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය සදහා ඇස්තමෙන්තු කර තිබූ මුදල රුපියල් 44,348,725.00 කි. නමුත් කොවිඩ් හා ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු අතර මඟ නතර කර තිබිණ. සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා සමාජයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි මෙය ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අයවැය චක්‍රලේකනය අනුව මෙම ව්‍යාපෘතිය එළිමහන් වොලිබෝල් ක්‍රිඩාංගනයක් බවට සංවර්ධනය කර ජනතාවට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්තේය.

මෙම සියනෑ තරු ක්‍රිඩා සමාජය වසර 74ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයින් තිදෙනෙකු මෙම ක්‍රිඩා සමාජය හරහා බිහි කර ඇති අතර වත්මන් ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයාද මෙම ක්‍රිඩා සමාජයේ වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *