ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

0
Spread the love

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280ක් රැස්කර ගත්තේය. එහිදී කමිදු මෙන්ඩිස් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර නායක ධනංජය ද සිල්වා ද ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිලට පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 188ක් පමණී.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ විශ්ව ප්‍රනාන්දු කඩුළු 4ක් දවා ගත්තේය. කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 418ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිතර වූ කමිදු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් ද සමගිනි. නායක ධනංජය ද සිල්වා හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ද සමගින් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය. කමිදු සහ ධනංජය මෙම තරගයේ ඉනිම් දෙකේදීම ශතක දෙක බැගින් වාර්තා කිරීම විශේෂත්වයකි. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් හසන් මිරාස් කඩුළු 4ක් දවා ගැනීමට සමත්විය.

තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 511කි.

දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යාමට පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන්‌ට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 182ක් පමණී. ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගෙන ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *