ගම්පහ නගර 05 සැලසුම් මැයි මාසය වනවිට ගැසට් කෙරේ

0
Spread the love

ගම්පහ දිස්ත්‍රික්කයේ  නගර 05ක් සඳහා වන සංවර්ධන සැලසුම් ලබන මැයි මාසය වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරේ. කටාන, ගම්පහ, වත්තල, ජා-ඇල, හා මහර නගර සංවර්ධන සැලසුම් මෙලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙන සංවර්ධන සැලසුම් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සංවර්ධනය පිළිබඳ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එලඹින. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වීම පැවැත්විණ.

මෙහිදි අණාවරණය වූයේ කටාන, ගම්පහ, වත්තල, ජා-ඇල, හා මහර නගර සංවර්ධන සැලසුම් සැකසීම අවසන් අදියරේ පවතින බවයි. කටාන නගරය සංවර්ධනය කෙරෙන්නේ ගෝලීය ගුවන් පුරයක් ලෙසය. වත්තල බස්නාහිර කාලපයේ සමෘද්ධිමත් හරිත සැපයුම් ප්‍රවර්ධන හා බහාලුම් නාගරිකය ලෙසත් ජා-ඇල හරිතවත් ආයෝජන පුරවරය ලෙසත් සංවර්ධනය කෙරෙනු ඇත. මහර කොළඹ හර ප්‍රදේශයේ හරිතවත් නාගරික උරුමය ලෙස සංවර්ධන කිරීමට නියමිතය. ගම්පහ නගරයද සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ලෙස සංවර්ධනය කෙරෙනු ඇත. මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලසුම ලබන වසර වන විට ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කෙරේ. මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලසුමද මේ වන විට සකස් කෙරෙමින් පවතී. ලබන වසර මුලදී එය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේය.

විෂය භාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සඳහා නගර සංවර්ධන සැලැස්මක් සකස්කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 නාගරික සංවර්ධන අධිකාරි පණත මගිනි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථාවර වැඩපිලිවෙලක් සකසන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ ඒකාබද්ධ වැඩපිලිවෙලක් මෙලෙස සකස් කරන ලෙසද ඇමතිවරයා කීවේය. කෙටි කාලීන හා දීර්ඝ කාලීන ලෙස අදියර කිහිපයක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය සකසන ලෙසත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන තමන් මැදිහත් වී ආණ්ඩුවෙන් ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විශේෂ ව්‍යාපෘතියක් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කලේය. ඒ අනුව ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කෙරුණ බව සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *