මතභේදාත්මක පුරවැසි පනත ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සූදානම් වෙයි

0
Spread the love

මුස්ලිම් විරෝධී බවට විවේචනයට ලක් වූ මතභේදාත්මක පුරවැසි පනත ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සූදානම් බව වාර්තා වේ.

2019 වසරේ දී සම්මත කරන ලද මෙම නීතියට එරෙහිව ඇතිවූ විරෝධතාවන් නිසා  – විශාල පිරිසක්  මිය ගිය අතර  තවත් බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත් විය.

පුරවැසි සංශෝධන පනත (CAA) මගින් පකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මුස්ලිම් නොවන ආගමික සුළුතරයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට අවස්තාව හිමිවනු ඇත.

පුරවැසි පනත ක්‍රියාත්මක කිරීම මේ වසරේ මහ මැතිවරණයට පෙර මෝදිගේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රධාන ඡන්ද පොරොන්දුවලින් එකකි. පනත මගින්  නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉන්දීය පුරවැසියන් වීම වළක්වන වසර 64ක් පැරණි ඉන්දීය පුරවැසි නීතිය සංශෝධනය කෙරෙනු ඇත. නව නීතියට අනුව, පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් 2014 දෙසැම්බර් 31 වන විට පකිස්ථානය, බංග්ලාදේශය හෝ ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාවට පැමිණි බව ඔප්පු කළ යුතුය.

කෙසේ වෙතත් මෙම නීති වෙනස ක්‍රියාත්මක වන්නේ කවදාද යන්න පිළිබඳව ඉන්දීය රජය දිනයක් ප්‍රකාශ කර නොමැත.

විවේචකයින් පවසන්නේ එය බැහැර කිරීමක් සහ ආගමික පදනමින් පුරවැසියන්ට වෙනස් කොට සැලකීම තහනම් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන උල්ලංඝනය කරන බවයි.

නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවෙන් දෙමළ සරණාගතයින් ඇතුළු මුස්ලිම් නොවන බහුතර රටවල තාඩන පීඩනවලින් පලා යන අය නව නීතියෙන් ආවරණය කෙරෙන්නේ නැත. අසල්වැසි මියන්මාරයේ සිට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් සඳහා ද එය ප්‍රතිපාදන සලසා නැත.

මෙම පනත  රටේ මිලියන 200 ක් පමණ වන මුස්ලිම්වරුන්ට පීඩා කිරීමේ මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බවට පවතින සැකය ඊට එරෙහිව නැගෙන ප්‍රධානම චෝදනාවයි.එසේම නව නීතිය  සංක්‍රමණිකයන් ගලා ඒමට තුඩු දෙනු ඇතැයි ඉන්දියාවේ දේශසීමා ආසන්නයේ ජීවත් වන සමහර ඉන්දියානුවන් ද කනස්සල්ලට පත්ව සිටිති.

“වසර හතරක් තුළ බහුවිධ දීර්ඝ කිරීම්වලින් පසුව, මැතිවරණ නිවේදනයට දින දෙක තුනකට පෙර එය [නීතිය] ක්‍රියාත්මක කිරීමෙන් පෙන්නුම් කරන්නේ එය දේශපාලන හේතූන් මත සිදු කරන බව ය,” සමස්ත ඉන්දීය ත්‍රිනාමූල් කොංග්‍රස් පක්ෂ නායිකා මමතා බැනර්ජි මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්දීය ජාතික කොංග්‍රසයේ සන්නිවේදන ප්‍රධානී ජයිරාම් රමේෂ් සමාජ මාධ්‍යවල ලියා ඇත්තේ “පනත ක්‍රියාත්මක වීම සඳහා  ගතවන කාලය අගමැතිවරයාගේ අමූලික බොරුවල තවත් ප්‍රදර්ශනයක්” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *