නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය

0
Spread the love

මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මෙරටට විශාල ආදායමක් උපයා ගත හැකි බවයි.

චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාව පළමුව කෙටිකාලීන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතය. ඒ සදහා ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යංශය මඟින් ප්‍රදානයක් ලෙස යුරෝ 601,810.00ක් ලබාදීමට නියමිත බවද අදාළ කැබිනට් පත්‍රකාවේ සදහන් වේ.

ඒ අනුව වසරක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාව ලබා ගැනීමට අදාළව Collected Localiztion Satellites (CLS) හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අත්සන් කිරීමට ද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික පිහිටීමක පිහිටා ඇත. සාමාන්‍යයෙන් මෙරට දකුණු මුහුදු තීරයේ දිනකට නැව් 300 – 350ක් අතර ප්‍රමාණයක් ගමන් කරන බැවින් මෙරට වෙරළබඩ මුහුදු තීරයේ සමුද්‍ර ගමනාගමන ඝනත්වය ඉහළ මට්ටමක පවතී.

එමෙන්ම වාර්ෂිකව ඉන්ධන මෙට්‍රික්ටොන් මිලියන 525කට වඩා වැඩි ප්‍රමණයක් මෙරටට අයිති ආර්ථික කලාපය හරහා ප්‍රවාහනය කරනු ලැබේ. එම නිසා නාවික අනතුරු සිදුවීමේ වැඩි විභවයක් පවතින බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

පසුගිය දෙවසර තුළ මෙරට මුහුදු සීමාවේදී විශාල ප්‍රමාණයේ නෞකා අනතුරු දෙකක් (එම්.වී එකස්ප්‍රස් පර්ල් හා එම්.වී නිව් ඩයමන්ඩ්) හා කුඩා පරිමානයේ ඉන්ධන කාන්දුවීමේ සිද්ධීන් කිහිපයක් සිදුව ඇත.

චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම්ව වර්තමානයේ සිදුවන ඉන්ධන කාන්දුවීම් අධීක්ෂණ සේවාවක් ඇති කිරීම, ඉන්ධන කාන්දුවීම් කල්තියා හඳුනා ගැනීමෙන් පරිසරයට,මහජන සෞඛ්‍යයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට ඇතිවිය හැකි අවධානම් සහ ඒවායේ ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම මඟින් මෙරට වෙරළ තීරය ආරක්ෂා කරගැනිම‍, මෙරට මුහුදු තීරයේ නැව් ආශ්‍රිත තෙල් කාන්දුවීම් නිරීක්ෂණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, තෙල් කාන්දුවීම් ගමන් ගන්නා මාර්ගය හඳුනා ගැනීම එම දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද වැඩි දියුණු කිරීම මෙරට මුහුදු තීරයේ සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වේ.

‍අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙරට නාවික කර්මාන්තයේ වර්ධනය හා වරාය සංවර්ධනයත් සමඟ මෙරට මුහුදු තීරයේ යාත්‍රා කරන නෞකා සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි.

එබැවින් ඉන්ධන විසිරීම් පිළිබඳ ඉක්මණින් තෙරතුරු ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මඟින්, නෞකා මඟින් සිදුවන දූෂණය වැලැක්වීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම, දූෂණය සඳහා වගකිවයුතු නෞකා හඳුනා ගැනීම මගින් නීතිමය කටයුතු සිදුකිරීමට පහසුවක් වනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *