කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ

0
Spread the love

කඳුකර දශකය දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන තවදුරටත් පුළුල් කෙරේ.

කළුතර, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් වලට අමතරව තවත් ග්‍රාම නිලධාරී වසම් 84ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා සඳහන් කරන්නේ ඒ සඳහා රුපියල් මිලියන 67 ක අමතර ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

මීට පෙර කඳුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ මෙරට දිස්ත්‍රික්ක 10 කයි. නමුත් මහජන නියෝජිතයන්ගෙන් ජනාධිපති කාර්යාලය වෙත ලැබුණු ඉල්ලීම් සලකා බලා තවත් දිස්ත්‍රික්කයක එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි. ඒ අම්පාර දිස්ත්‍රික්කයයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සැකසීමේදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

මෙම වැඩසටහන සඳහා තෝරා ගනු ලැබුවේ මුහුදු මට්ටමේ සිට මීටර් 200ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වේ. නමුත් මහජන නියෝජිතයින්ගේ ඉල්ලීම් සලකා බලා කළුතර, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවල එම සීමාව මුහුදු මට්ටමේ සිට මීටර් 150 ක් දක්වා අඩුකිරීමට කටයුතු කළ බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

“ කදුකර දශකය වැඩසටහනේ සියලු ව්‍යාපෘති හදුනා ගන්න ඕන ග්‍රාමීය කමිටුව හරහායි. ඒ නිසා ග්‍රාම සේවා මට්ටමින් එම ග්‍රාමීය කමිටු පත් කර ගන්න. සියලු සංවර්ධන කටයුතු ජූලි මස 31 වන විට අවසන් විය යුතුයි. අලුත් ව්‍යාපෘති ආරම්භ කරනවට වඩා මුල්තැන දෙන්න ඕන වැඩ නතර වෙලා තිබු ව්‍යාපෘතිවල කටයුතු අවසන් කරන්නයි. ව්‍යාපෘතිවල සියලුම අධීක්ෂණ කටයුතු එම කමිටුව හරහා සිදු විය යුතුයි. ග්‍රාමීය මට්ටමින් එකතු වෙලා ව්‍යාපෘති හදුනා ගැනීමේදී යම් ගැටළුවක් අවොත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්න. එතැන විසදුමක් දෙන්න බැරි නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවන්න. එතනින් විසද ගන්න බැරිනම් අගමැතිතුමා ඉන්න ජාතික කමිටුවට එවන්න. ව්‍යාපෘති හදුනා ගැනීමේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වශයෙන් වෙන් වෙන්ව ඒවා හදුනා ගන්න. දින වකවානු සහිතව සැලසුම් සකස් කරන්න. රටේ තත්ත්වය තේරුම්ගෙන රටේ ආර්ථිකයට සවියක් විය හැකි ව්‍යාපෘති ආරම්භ කරන්න කටයුතු කරන්න.” යනුවෙන්ද පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල, මතුගම සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 හි ග්‍රාම නිළධාරී වසම් 235 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

“කඳුකර දශකය” යනු දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනකි. එය ක්‍රියාත්මක කෙරෙන්නේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි. එම වැඩසටහන සදහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 10,000 කි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල, කුරුණෑගල සහ අම්පාර යන දිස්ත්‍රික්ක 11 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

උතුරින් කොළඹ දිස්ත්‍රික්කයටද, නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයටද, දකුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයටද, බටහිරින් දර්ශනීය මුහුදු තීරයකටද මායිම්ව කළුතර දිස්ත්‍රික්කය පිහිටා තිබේ. බස්නාහිර පළාතේ විශාලතම දිස්ත්‍රික්කය වන්නේ කළුතරයි. ඈත අතීතයේ සිටම ආර්ථික කටයුතු වලදි ප්‍රමුඛස්ථානයක් මෙම දිස්ත්‍රික්කයට හිමිවනවා. කළුතර දිස්ත්‍රික්කයේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 14 කි. මෙහි වත්මන් ජනගහනය ලක්ෂ දොළහකට අධිකය.
කළුතර දිස්ත්‍රික්කය සදහා මෙම වසරේදී සංවර්ධන අරමුදල් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී ඇමතිවරයා නිළධාරීන් දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *