ඇලෙක්සි නවාල්නිගේ දේහය ‘රසායනික විශ්ලේෂණය’ සඳහා සති දෙකක කාලයක් රඳවා තබා ගන්නා බව රුසියානු බලධාරීහු පවසති

0
Spread the love

රුසියානු බන්ධනාගාරයකදී මියගිය පුටින් ප්‍රතිවාදී ඇලෙක්සි නවාල්නිගේ සිරුර සති දෙකක කාලයක් සඳහා නිදහස් නොකරන බව ඔහුගේ පවුලේ අයට දන්වා ඇතැයි වාර්තා වේ.

මළසිරුර “රසායනික විශ්ලේෂණය” සඳහා රඳවාගෙන සිටින බවට බලධාරීන් ඔහුගේ මවට දැනුම් දී ඇති බව නවාල්නිගේ නියෝජිතයෙක් පැවසීය.

මළ සිරුර ඇති ස්ථානය පිළිබඳ රුසියානු බලධාරීන්ගෙන් කිසිදු තහවුරු කිරීමක් නොමැති අතර, එය සඟවාගෙන සිටින බවට දිවංගත රුසියානු විපක්ෂ නායකවරයාගේ බිරිඳ චෝදනා කරයි.

සඳුදා වීඩියෝ පටයකින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට තම සැමියා ඝාතනය කළ බවට යුලියා නවල්නායා වීඩියෝ පටයකින් සෘජුවම චෝදනා කළාය. ඇය පවසන්නේ විෂ ශරීර ගත කොට සිය සැමියා ඝාතනය කොට ඇති අතර මළසිරුර නිදහස් නොකරන්නේ එම විෂ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා බවය.

නවාල්නි බන්ධනාගාරයේදී මිය ගිය බව නිවේදනය කෙරුනේ පසුගිය සිකුරාදා ( 16) ය. ඔහු රඳවා සිටි සයිබීරියානු දණ්ඩන ජනපදයේ බලධාරීන් පැවසුවේ ඇවිදීමකින් පසු ඇද වැටීමෙන් සිහිසුන් වූ නවාල්නි සිහි නොලබාම මියගොස් තිබූ බවයි.

මෘත ශරීරය සොයා ගැනීමට දැරූ උත්සාහයන් බන්ධනාගාර බලධාරීන් සහ පළාත් පාලන ආයතන විසින් නැවත නැවතත් අවහිර කොට තිබේ.

සඳුදා ක්‍රෙම්ලිනය කියා සිටියේ නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවත් තවමත් “ප්‍රතිඵලයක්” නොමැති බවත්ය.

පසුව, නවාල්නිගේ ප්‍රකාශිකා කිරා යාර්මිෂ් පැවසුවේ, “රසායනික විශ්ලේෂණයක්” සිදු කරන අතරතුර සති දෙකක කාලයක් ශරීරය භාර නොදෙන බව පරීක්ෂකයින් නවාල්නිගේ මවට දැනුම් දී ඇති බවයි.

පසුගිය දශකය තුළ රුසියානු විපක්ෂයේ වඩාත්ම බලපෑම් සහගත නායකයා වූ නවාල්නි, දේශපාලන අභිප්‍රේරණයක් ලෙස බොහෝ දෙනා සැලකූ චෝදනා මත වසර 19ක සිර දඬුවමක් විඳිමින් සිටියේය.

නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් වගකිවයුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද චෝදනා කොට තිබේ.

එසේම සඳුදා පැවති මාධ්‍ය හමුවකදී යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පැවසුවේ ඔහු නවාල්නි “පුටින්ගේ පාලනය විසින් රුසියානු සිරගෙයක සෙමින් ඝාතනය කර ඇති” බවයි.

නවාල්නිගේ මරණයෙන් පසු රුසියාවට නව සම්බාධක පැනවීමට සලකා බලන බව යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් කැමරන් සාමිවරයා ද පවසා ඇත්තේ බ්‍රිතාන්‍යය සහ අනෙකුත් ධනවත් ජාතීන්ගේ G7 කණ්ඩායම මරණයට සම්බන්ධ ඕනෑම රුසියානු ජාතිකයෙකුට නව සම්බාධක පනවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් බටහිර දේශපාලනඥයන්ගේ අදහස් “උඩඟු” සහ “පිළිගත නොහැකි” බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රතිචාර දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *