රනිල්ව ජනාධිපති ධූරයට පත් කළෙත් පොහොට්ටුව – ඇමති ප්‍රසන්න රණතුංග

0
Spread the love

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවයි.

පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට නම් පෙනෙන්නට නැතැයිද ඇමතිවරයා කියා සිටියේය.

ඇමතිවරයා මේ බව සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (28) දින පැවැත්වුනේ ගාලු කොටුවේ පිහිටි හෝල් ඩී ගෝල් ශාලාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද කීය,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න තීන්දුව ගත්තේ අපේ පක්ෂයේ නායකයින්. අපේ පක්ෂයේ නායකයින් දුන් උපදෙස් අනුවයි අපි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න අපේ සහයෝගය ලබා දුන්නේ. ඔහු මේ වනවිට ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරලා රටේ ප්‍රශ්න විසදමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න පොහොට්ටුව ගත් තීරණය ඒ වෙලාවේ ගත යුතුව තිබූ හොඳම තීරණය ලෙසයි මා සලකන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙන කිසිවෙකුට හැකියාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ජනාධිපති ධුරය භාර ගන්න කියලා ඉල්ලීම් කළාම ඒ අය ඒක ප්‍රතික්ෂේප කළා. අනුර කුමාර දිසානායාක, සජිත් ප්‍රේමදාස කියන දෙන්නත් මේ වගකීම භාර ගන්න අකමැති වුණා. ඒ නිසා මම හිතනවා මේ මොහොතේ පක්ෂයක් විදියට අපි ගත යුතුව තිබෙන නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඊළග ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම. ඔහු තරග කරන්න අවශ්‍ය කුමන පක්ෂයෙන්ද කුමන ලකුණෙන්ද කියන එක සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැම වෙලාවෙම ජනතාව හා රට ගැන හිතලා තීන්දු තීරණ ගත්ත පක්ෂයක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ළගදීම ලංකාවට එනවා. එතුමා ලංකාවට ආවට පස්සේ පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා, පක්ෂය ශක්තිමත් කරනවා. ඊට පස්සේ අපි ජනාධිපතිවරණයේදී ගත යුතුව තිබෙන තීරණය කියාවී.

මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක් බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුර දුන් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට සිය පෞද්ගලික මත දැරිය හැකි බවයි. එහෙත් ව්‍යවස්ථානුකූලව මීළගට පැවැත්විය යුතුව තියෙන්නේ ජනාධිපතිවරයක් බවත් ඒ නිසා මේ වසරේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සුදානම් වෙමින් සිටින බවත් ඇමතිවරයා සදහන් කළේය. ඒ සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබදව කළබල විය යුතු නැති බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *