කාර්ය මණ්ඩල පරිපාලනය සහ පාලනය සම්බන්ධ සහයෝගීතාවය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා සාකච්ඡා ඇරඹේ

0
Spread the love

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල පරිපාලනය සහ පාලනය සම්බන්ධ සහයෝගීතාවය සඳහා වන ද්වි පාර්ශවීය නියෝජිත මට්ටමේ සාකච්ඡා ඇරඹේ.

නව දිල්ලි නුවරදී පසුගිය (15) ආරම්භ වූ මෙම සාකච්ඡාවට ඉන්දියාව වෙනුවෙන් එරට පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ලේකම් ශ්‍රී වී. සිරිනිවාස් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක එක්විය.

යහපාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය (NCGG) විසින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සහ මැදි මට්ටමේ රාජ්‍ය සේවකයන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ යහ පාලනය සඳහා ජාතික මධ්‍යස්ථානය අතර යෝජිත අවබෝධතා ගිවිසුමක අන්තර්ගතය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන සැලැස්ම සහ මාර්ගගත සහ භෞතික වශයෙන් (හයිබ්‍රිඩ් ක්‍රමයට) විවිධ මට්ටම්වල නිලධාරීන් 1000ක් සඳහා විෂය මාලා සංවර්ධනය සහ පුහුණුවීම් පැවැත්වීම සඳහා සහයෝගීතාවය ඉදිරිපත් කළේය.

ඉන්දියානු පාර්ශ්වය රාජ්‍ය පරිපාලනය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සම්මාන යටතේ පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නෛපුණ්‍ය තන්ත්‍රය හඳුනාගැනීම; CPGRAMS තුළ AI/ML භාවිතා කරමින් මහජන දුක්ගැනවිලි සඳහා ඵලදායි පිළියම් යෙදීම සහ ඒකාබද්ධ සේවා ද්වාර (Unified Service Portals), අනිවාර්ය ඊ-සේවාවන් සහ ඊ-කාර්යාල සහ ඒවායේ පරිඝනකගත විශ්ලේෂණය (Analytics )වැනි දේ තුළින් ඊ-පාලනය හරහා සේවා ලබාදීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රධාන හැකියාවන් ඉදිරිපත් කරන ලදී.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් විය. ඉන්දීය පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ශ්‍රී එන්. බී. එස්. රාජ්පුත්, ශ්‍රී පුනීත් යාදව් සහ ශ්‍රීමතී ජයා ඩුබේ යන මහත්ම මහත්මීන් ද සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *